පාඩම් කරන හැටි නිවැරදිව දැනගන්න....

(ඉස්සෙල්ලම කියන්න ඕනෙ මෙ ලිපිය සරසවි ප්‍රජාවට විතරක් නොවෙයි ඕනෑම විභාගයක් සඳහා සූදානම් වෙන ඕනෑම කෙනෙකුට වැදගත් වෙයි.ඇත්තටම මේක මතක තියාගන්න ක්‍රමයක් ගැන ලියල තියෙන්නෙ. විභාගෙකට විතරක් නොවෙයි යමක් මතක තියාගන්න ඕනෙ ඕනෙම අවස්ථාවක මේ ක්‍රමය අත් හදා බලන්න.)


image

ඔන්න ඔය ඉහත දක්වලා තියෙන ආකාරයේ පණිවුඩයක් ෆේස්බුක් හරහා හුවමාරු වෙනවා දැකලා මේ සටහන තියන්න හිතුනා.

මේක ඇත්තටම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අය දන්නවා. නොදන්න අයට පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. GPA, ඒ කියන්නේ Grade Point Average (සමහරු තරහට Global පිටිපස්ස_පැත්තෙ අමාරුව කියලත් අර්ථකථනය කරනව.). මේක ශිෂ්‍යයෙක් සිය සරසවි දිවිය තුළ සියලුම විෂයයන් වලට ලබා ගන්නා ලකුණු වල සාමාන්‍ය අගය දක්වන මිනුමක් ලෙසට දක්වන්න හැකියි. මෙහි උපරිමය 4.0 හෝ 4.5 දක්වා ගන්නවා. උපාධියේ පන්ති සාමාර්ථය (Class) (උපාධිය හැදෑරීමේදී ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව දැක්වූ කුසලතාව පිළිබඳ දර්ශකයක්) ඒ කියන්නේ පළමු පෙළ (1st Class) ද , දෙවන පෙළ ඉහළ (2nd Upper) , දෙවන පෙළ පහළ (2nd Lower)  හෝ සාමාන්‍ය සාමාර්ථයක් (General Pass) ද යන්න තීරණය වන්නේ මෙන්න මේ කියන GPA අගය මත. ගොඩක් වෙලාවට ඉහළ පෙළේ රැකියාවක් හෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්න අය (ඒ සඳහා සලකා බැලෙන්නේ පළමු පෙළ හෝ දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථලාභීන්) හැම විටම මෙහි අගය 4.0 ආසන්නව, අඩු ගණනේ  3.5 ට ඉහළව තබා ගන්න උත්සාහ කරනවා. මේ නිසා සරසවිව තියෙන්නේ (උසස් පෙළ වගේ) තරඟකාරී විභාග නොවුනත් (තරඟකාරී විභාගයක ලක්ෂණය තමයි සමත් වුනත් සාපේක්ෂව ඉහළම ළකුණු නොගත්තොත් අසමත් වුනා හා සමාන සැලකීම්වලට බඳුන් වීම.), කණ්ඩායමේ කීපදෙනෙක් අතරේ සීතල යුද්ධයක් දකින්න පුළුවන්. අවාසනාවකට මේ අය ගොඩක් වෙලාවට උත්සහ කරන්නේ කෙසේ හෝ ඒ අරමුණට ළඟා වීම මිසක් විශය කරුණු මනාව වටහාගෙන අවබෝධයකින් කටයුතු කිරීම නොවෙයි. මේකට කියන්නේ කටපාඩම් කිරීම හෝ වනපොත් කිරීම බව කවුරුත් දන්නවා. සරසවි ප්‍රජාව මේකට කියන්නේ 'ගිරවා දැමීම' කියලා.

මේ 'ගිරවා දැමීම' අඩු වැඩි වශයෙන් ජීවිතයේ කඩඉම් තරණය කිරීමේදී හැමෝටම අකමැත්තෙන් වුනත් කරන්න වෙන දෙයක්. පෞද්ගලිකව මම නම් ඒකට අංශු මාත්‍රයක්වක් කැමති නැහැ. අපි හැකි සෑම විටම උත්සාහ කළ යුත්තේ අදාල කරුණ හොඳින් තේරුම් අරගෙන හිතට දාගන්න එකයි. තමන්ට තේරෙන්නෙ නැත්නම් තේරෙන කෙනෙක්ගෙන් අහගන්න පුළුවන් (කුප්පියක් දා ගන්න.). 

කොහොම වුනත් සමහර විශය වල කරුණු මතක තියාගන්නම වෙනවනේ. ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි මතක හිටින්නෙ නැති එක. මෙන්න ඒකට අත්දුටු ප්‍රත්‍යක්ෂ විසඳුමක් (ක්‍රමයක්).
'අය්යෝ ක්‍රම නම් ඔය ඕන කෙනෙකුට කියන්න පුළුවන්....ඒත් කොහොමද ඒව හරි කියල අපි විස්වාස කරන්නෙ...?' කියල ඔබට හිතෙන්න පුළුවන්. ඒක හරි. කෙනෙක් ක්‍රමයක් කියල දෙනවනම් එයා ඒකෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගෙන තියෙන්න ඕනෙනෙ. ඒක තර්කාණුකූලයි. හරි. මේක ලියන මම රටේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙක්. මම මෙතනට ආවෙ මෙ කියන ක්‍රමයෙ සාර්ථකත්වය මත තමයි. දැන් හරිද..?

ආ...හ්. අමතක වුනා. කෙනෙක් කියයි මෙහෙම..."සර්ට නම් ඉතින් ඕක නැතුව වුනත් ඔහොම වෙන්න පුළුවන්...ගොඩ දාන එකා කොහොමත් ගොඩ දානවා...මීටරේ හොඳ නම් ඔය කොයි එකත් එකයි....". ඒ කතාව හරිද වැරදිද කියල මෙන්න මේ කතාව කියවල ඔබම තීරණය කරන්න.
මේ ලියන මම උසස් පෙළ පළමු වර අසමත් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද....? ඔව් ඒක ඇත්ත...අසමත් වුනේ ගණිත විශය ධාරාවේ අයට කවදත් පෙන්නන්න බැරි රසායන විද්‍යාව....එසේ මෙසේ අසමත් කමක් නොවෙයි ලකුණු 13යි. මේ වැටුණු අමාරුවෙන් ගොඩ එන්න ගිහින් එක එක අත් හදා බැලීම් කරනකොට තමයි මේ කියන්න යන ක්‍රමය මතුවුනේ....! ඒ කියන්නෙ මේ ක්‍රමය පාවිච්චි කරල මාස කිහිපයක් ගතවෙනකොට රසායන විද්‍යාවට මම රැස් කළ ලකුණු සාමාන්‍යය 92ක්.  (ඒ සඳහා ඉතින් ඉස්සෙල්ලම් ඒ විෂයයට තියෙන අසාධාරණ වෛරය නැති කරන්න ඕනෙ. ඒ කියන්නෙ ඒකට කැමැත්තක් කෘතිමව හරි ඇති කරගන්න ඕනෙ.)

ඔය තරම් අගය කරන මේ අමුතු ක්‍රමය මොකක්ද කියල දැන්වත් බලමු.

ඉස්සෙල්ලාම සම්ප්‍රදායික විදියට කෙටි සටහනක් හදා ගන්න. හැබැයි කරුණු වාක්‍ය විදියට තවමත් තියෙන්න බෑ. (තාමත් එහෙම නම් ඔබ හදල තියෙන්නෙ ෂෝර්ට් නෝට් එකක් නොවොයි, ලෝන්ග් නෝට් එකක්.) තියෙන්න ඕනෙ කරුණු ලැයිස්තුවක් විදියට.

උදා. 
ප්‍රධාන මාතෘකාව.
  හැඳින්වීම
වැදගත් කරුණු.
  1. පළමු කරුණ.
  2. දෙවන කරුණ.
  3. තෙවන කරුණ.
  4. සිවුවන කරුණ.
උප මාතෘකාව 1
  1. පළමු උප කරුණ.
  2. දෙවන උප කරුණ.
  3. තෙවන උප කරුණ.
  4. සිවුවන උප කරුණ.
  5. පස්වන උප කරුණ.

මේ ආකාරයට ඇත්තම කෙටි සටහනක් හැදීගෙන යනවනම් මීලඟට සපයා ගන්න තියෙන්නෙ බිත්ති පුවරුවක්. එක්කෝ කළු ලෑල්ලක්, වියදම දරා ගන්න පුළුවන්නම් වයිට් බෝර්ඩ් එකක්. (රට හුණු හෝ ලියන වයිට් බෝඩ් මාකර් පෑන් ඕන වෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.)

දැන්, ඉස්සෙල්ල ගන්න මුල් පිටපත. (කෙටි සටහන නොවෙයි.) කියවන්න එක පිටුවක් හෝ එක කුඩා පරිච්චේදයක්. දැන් ඒ පොත පැත්තකින් තියන්න. තියල සුව පහසු විදියට හිඳගෙන හරි හෙමින් ඇවිදින ගමන් හරි (හාන්සි වෙන්න යන්න එපා නින්ද යයි!) කියෙව්වෙ මොනවද කියල දල වශයෙන් අදහසක් තියෙනවද කියල (අඩු ගානෙ මොකක් ගැනද මේ පාඩම කියලවත්) හිතින් විමසල බලන්න.
දැන් ගන්න කෙටි සටහනේ අදාල කොටස. කලින්ට වඩා හොඳ අවාධානෙන් හෙමීට කියවන්න. තමන්ට මේ කරුණ ඉතා පැහැදිලියයි හැඟෙන තරමට කියවන්න. (මේ වෙලාවෙදි මතක තියාගන්න උත්සාහ දරන්න එපා.) පිටුවකට (මුළදි පිටු බාගෙක කරුණු වුනත් කමක් නෑ.) වඩා කියවන්න යන්න එපා වැඩේ හුරු වෙනකම්.

අන්තිම වතාවටත් කියවපු කොටසට බැල්මක් දාන්න. ඒ දාන ගමන් එක් එක් කොටසෙ කරුණු / උප කරුණු කීයක් තියෙනවද කියල විතරක් මතක තියාගන්න. උදාහරණයක් විදියට ප්‍රධාන කරුණු 4යි.
දැන් කෙටි සටහනත් සම්පූර්ණයෙන්ම වහන්න. වහල පැත්තකින් තියන්න. අතට ගන්න එපා. හිස් අතින් යන්න බෝර්ඩ් එකට*. හිතින් මතක් කරමින් අදාල කරුණු 4 ලියන්න උත්සාහ කරන්න. පිළිවෙල වැදගත් නෑ. මතක් වෙන විදියට ලියන්න. (පස්සෙ පුළුවන්නම් පොත නොබලා ආපහු පිළිවෙලට ලියන්න.) කොහොමහරි හරි පොත නොබලා අමාරුවෙන් මතක් කරගෙන ලියන්න උත්සාහ කරන්න.
බැරිම වුනොත් ලියපු දේවල් සම්පූර්ණයෙන්ම මකලා ආපහු සටහන අරගෙන කරුණු 4ම බලන්න. නැවත පොත වහල බෝර්ඩ් එකට ගිහින් (හිටගෙන.) කරුණු 4ම එකපාර ලියන්න උත්සාහ කරන්න. මේ විදියට සියළුම කරුණු එකපාර පොත නොබලා ලියන්න පුළුවන්නම් වැඩේ ගොඩ. 

උප කරුණු 5ටත් මේ විදියටම කරන්න. මතක තියාගන්න පොත වහල බෝර්ඩ් එකට යන්නෙ ඉතාම සැහැල්ලුවෙන්. ඔලුවෙ වැඩ කරන්නෙ මතක තියාගත්ත සංකීර්ණ කරුණු වෙනුවට 5 කියන සරල ඉලක්කම විතරයි.!

රූප සටහන් මතක තියාගන්නෙත් මීට සමාන ක්‍රමේකට. 


image

මේ රූපය බලන්න. ඒකෙ කොටස් නම් කරල තියෙන හැටි බලන්න. බෝර්ඩ එකට යනකොට ඔලුවෙ වැඩ කරන්න ඕනෙ 'වම් පැත්තෙ 7යි, දකුණෙ 6යි. නැතිනම් ඔක්කොම 13 යි.' කියන එක. එක පාරටම 13ම මතකෙන් නම් කරන්න බැරිවෙන එක ඉතාම සාමාන්‍යයි. මානසිකව වැටෙන්න එපා. ඕනම කෙනෙකුට එහෙමයි. නැවත නැවතත් උත්සාහ කරන්න. හැබැයි සියල්ලම නම් කරන්න හැකි වන තුරු.

මේක සෑහෙන වෙලාව ගතවෙන වැඩක් කියල මම දන්නව. ඒක නිසා අන්තිම මොහොතෙ පාඩම් කරන්න ගොඩ ගහගන්න අයට මේකෙ ප්‍රයෝජනයක් නෑ. අනිත් එක වැඩේ හුරු වෙනකම් ටිකක් අමාරුයි. හිත එකඟ කරගන්න එක අමාරුයි තමයි. හැබැයි ඒක නිකම් ඉඳලා නොවෙයි, පුහුණුවෙන් ප්‍රගුණ කරගන්න පුළුවන් එකක්. අත්දැකීමෙන් කියන්නෙ.

සිහිකල්පනාව සහ මතක ශක්තිය මේ පුහුණුවත් එක්ක පහළවෙන ඒවා. මේ පුහුණුව කොතරම වැදගත්ද කියනවනම් විශ්වවිද්‍යාලෙදි ගොඩක් විශයයන් ඉතාම ඉහලින් සමත් වෙන්න දේශනයට සහභාගී වෙලා හොඳ අවධානයෙන් සිටීම පමණක්ම ප්‍රමාණවත් වුනා. ඒ කියන්නෙ සමහර විෂයයන් වලට මම අධ්‍යයන නිවාඩුවෙ පාඩම් කළෙත් නැහැ. පාඩම් කරන්න සටහන් තිබුණෙත් නැහැ. තිබුණත් තිබුණෙ පිටු 2-3ක් විතරයි. ඒ කාලෙ කලේ පරිගණක ක්‍රීඩා සෙල්ලම් කිරීම. නමුත් ප්‍රතිඵලවල කිසිම අඩුවක් නැහැ. මේක අදටත් ගොඩක් අය විශ්වාස නොකළත්, ඇත්ත තත්වය. මේක කරන්න බැරි දෙයක් කියලයි එයාලගෙ අදහස. මම කියන්නෙ පුළුවන්, හැබැයි ගිරවා දැමීමෙන් නොවෙයි, දෙයක් තේරුම් ගැනීමෙන් පමණයි ඒ දේ කරන්න පුළුවන්. 

ඔබ සරසවි ශිෂ්‍යයෙක්නම් අනිවාර්යයෙන්ම හැමදාම දේශන වලට යන්න. එය ඉතා වැදගත්. මොකද දේශනය ඔබට තේරෙන්නෙ නැතිනම් දේශකයා කියන හෝ ලියන දේ ඒ ආකාරයෙන්ම සටහන් කරගෙන පස්සෙ තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන්නේ.(තනිවම හරි තව කෙනෙක්ගෙ උපකාරය ඇතුව හරි.) (මම දන්නවා ඇවිත් බෝර්ඩ් එකට උගන්නලා යන යන මහාචාර්යවරු ඉන්නවා. අපිටත් ඔය අත්දැකීම තියෙනවා. අපි කරන්නෙ ඉතින් පෑන ලියවෙනවද බලන්න බෝර්ඩ් එකේ ඉරක් ඇන්දත් ඒකත් ඒ විදියටම සටහන් කරගන්න එකයි. පස්සෙ සටහන තේරුම් ගන්නකොට තමයි අපිටම හිනා යන්නෙ..!!)  තේරෙන්නෙ නෑ කියන එක දේශන මගහරින්න සාධාරණ හේතුවක් නොවන බව මතක තබා ගන්න. එතකොට වෙන්නෙ (දවසක් හෝ කිහිපයක් මගහැර යළි දේශන වලට සහභාගී වෙන දවසට ) කොහෙත්ම තෙරෙන්නෙ නැතුව යන එකයි. මොකද අළුත් පාඩමට කළින් දේශන වල සම්බන්ධයක් තියෙන්න පුළුවන්. 

එක එක ගුරුවරු උගන්නන විදියත්, එක එක ශිෂ්‍යයාගේ මතක ධාරිතාවත් වෙනස් කියලා මම දන්නවා. හැබැයි ඔය කියපු දෙවෙනි කරුණ ඕනම කෙනෙකුට උත්සාහයෙන් වැඩිදියුණු කරගන්න පුළුවන් කියලා කියන්නෙ අත්දැකීමෙන්. ඒකට මේ කියල තියෙන මතක තබා ගැනීමේ ක්‍රමය පිටුවලක් වේවා කියන එකයි මගෙ පැතුම.

මේක නම් මගේ නිර්මාණයක් නෙමෙයි හැබැයි ඔන්න...    
:D :D

Comments

Sign In or Register to comment.