A/L EXAM EKEDI PAPER EKA LIYANAKOTA ANUGAMANAYA KRANNA ONI MONAWADA?

edited November -1 in Advanced Level
Mama 2015 A/L liyanawa. Me exam goda daganna paper eka liyaddi eka athata hambuna welawe idan monawada karanna oni hoda result ekak danna? A gana ongllo danna dewal kiyannako loku help ekak eka exam liyana hamotama wadagath wewi.

Answers

  • edited November -1

    මම physics වලට පන්ති යන සර් නම් කිව්වෙ, 

    මාගලක් වගේ දෙන පේපරේ ඔක්කොටම කලින් හරියට නමාගන්න කිව්වා.

    ඊට පස්සෙ ව්‍යුහගත එකේ පළවෙනි ප්‍රශ්නෙ පුළුවන් ටික සේරම කරගෙන යන්න කිව්වා.

    ඔය විභාග ලියන හැටි ගැන ලියලා තියෙන පොත් වල තියෙන්නෙ නම් පේපරේ අතට ගත්ත ගමන් ප්‍රශ්න සියල්ලම හොඳින් කියවලා ඊට පස්සෙ ලේසි ප්‍රශ්න තෝරගෙන ලියන්න කියලලු. ඒ වුණාට එහෙම කරන්න ගියොත් අවුල් යනවලු. මොකද අපි පේපරේ කියව කියව ඉන්න අතරෙ පේනවා එහා පැත්තෙ එකා ලියනවා. යකෝ අන්න අරූ හෝ ගාල  ලියනවා, අපි තාම කියවනවා... කියලා අපිට බය හිතෙනවලු... ඊට පස්සෙ... අපි කියවලා ඉවර වෙලා ලියන්න පටන් ගන්න හදද්දිම ඇහෙනවලු එහා පැත්තෙ පොර පළවෙනි පිටුව ලියලා ඉවර වෙලා අනික් පිටුව පෙරළන සද්දෙ. ඒක ඇහෙද්දි අර බය ඩබල් වෙනවලු... ඌ එක ප්‍රශ්නෙකට ලියලත් ඉවරයි. මං තාම පටන් ගන්නවා කියලා.

    ඒක හින්දා මුලින්ම ලියන්නලු ව්‍යුහගත එකේ පළවෙනි ප්‍රශ්නෙට. ඒක ලියලා ඉවර වෙලා අතට ගන්නලු essay පේපරේ. කියවන්නලු පළවෙනි ප්‍රශ්න දෙකම එක සැරේ... තීරණය කරනවා ඊට පස්සේ ඒ දෙකෙන් කෝකද ලේසි කියලා. ඊට පස්සෙ තෝරගත්තු එකට ලියාගෙන ලියාගෙන යනවා. ඒක ඉවර වෙලා ආයෙ මාරු වෙනවා ව්‍යුහගත එකට. කරගෙන යනවා දෙවෙනි ප්‍රශ්නෙ. ඊට පස්සෙ ඒක ඉවර වෙලා අර කලින් විදිහටම ආයෙ essay පේපර් එකේ ඊළඟ ප්‍රශ්න දෙක කියවලා ලේසි එකට ලියනවා. ඔහොම ඔහොම කරගෙන යනවා.

    ඔක්කොම කරලා ඉවර වෙලා වෙලාව ඉතුරු වුණොත් නිකන් ඉන්නෙ නැතුව තව වැඩිපුර ප්‍රශ්නෙකටත් ලියන්නලු. මොකද අපි ඔක්කොම ඉවර වෙලා සතුටින් ඉන්න හින්දා ඒ ප්‍රශ්නෙ ගොඩක් දුරට වරදින්නෙ නැතුව ලියවෙනවලු. marking වලදි ලකුණු දෙන්නෙ වැඩියෙන්ම ලකුණු තියෙන ප්‍රශ්න ටික තෝරලාලු. අඩුම එක අයින් කරලා. ඒක හින්දා අවුලක් වෙන්නෙ නෑලු වැඩි පුර එකක් ලිව්වා කියලා...

    ඔන්න ඔහොම තමා මට මතක විදිහට සර් කිව්වෙ. මාත් ඉතින් 2015 ලියන්නෙ. ඒක හින්දා අත්දැකීමක් නම් නෑ.... 

  • edited November -1

    @sameers,

    @Messa කිව්ව දේවල් හරියටම හරි. විභාගෙ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියනකොට පිළිවෙල හරි වැදගත්. ඒක කාලය කළමනාකරණයට වගේම හිතේ සැහැල්ලුවෙන් පිළිතුරු ලියන්නත් උදව්වක්.

    ප්‍රශ්නපත්‍රය බෙදන්න පෙර පිළිතුරු ලියන පොත්/කඩදාසි, කටුකොළ, කොටුකොළ, ප්‍රස්ථාර කොළ වගේ දේවල් අපට බෙදා දෙනව. පිළිතුරු ලියන අතරතුරත් අවශ්‍ය නම් ඉල්ලගන්න පුළුවන්. වැදගත්ම දෙය තමයි, අපේ විභාග අංකය ලිවීම. අපි පිළිතුරු ලියන සෑම කොළයක ම අපේ අංකය සටහන් වෙලා තියෙන්න අවශ්‍යයි. (MCQ කොටු කොළයේ පවා). එමනිසා ප්‍රශ්න පත්‍ර බෙදීමට පෙර හොඳම දෙය තමයි, අපි භාවිතා කරන කොළ වල අංකය සටහන් කිරීම. Structured paper එක බෙදූවිට ඒකෙත් තැන් කිහිපයකම අංකය ලියන්න ඕනෙ. (පිළිතුරු ලිවීම අවසානයේදී අංකය ලියන්න ඉතුරුකරගන්න එපා. අමතකවීම්, අතපසුවීම් සිද්ධවෙන්න පුළුවන්. පෙර සූදානම සැමවිටම වැදගත්!).

    පෑන්, පැන්සල්, මකන, අඩිරූල් කිහිපයක් අරගෙන යන්න අමතක කරන්න එපා. පිළිතුරු ලිවීමේ පොත් වල මෙන්ම, අමතර කඩදාසි වල ද පිටු අංකය අනිවාර්යයෙන් සටහන් කරන්න අමතක කරන්න එපා. එය අපගේ පිළිතුරු කොළ අසුරාගැනීමට මෙන්ම, අප වංචනික ක්‍රියා සිදු නොකළ බවට සාකශියක් ද වෙනව. විෂයයේ නම හා විෂය අංකය අනිවාර්යයෙන් ම අදාළ ස්ථානයයන් වල ලිවිය යුතුයි. විෂය අංකයන් ඔබට ලැබෙන Admission පත්‍රයේ සඳහන් වෙලා තියෙනව. ප්‍රශ්න පත්‍ර වලත් තිබෙනව.

    අපි දන්නව, සාමාන්‍යයෙන් එක විෂයකට බහුවරණ, ව්‍යුහගත සහ රචනා කියල කොටස් තුනක් තියෙනව. (සමහර විෂයන් වල මේක වෙනස් වෙන්න පුළුවන්). බොහෝ අවස්ථාවලදී බහුවරණ පත්‍රය එක දිනයකත්, අනෙක් දෙක වෙනත් දිනයකත්, තමයි පවත්වන්නෙ. මේ හැම අවස්ථාවකදීම අපි අපේ කාලය භාවිතා වෙන්නෙ කියල සැලකිලිමත් වෙන්න ඕනෙ.

    සාමාන්‍යයෙන් MCQ පත්‍රයට පැය 2ක පමණ කාලයක් ලැබෙනව පිළිතුරු සපයන්න. දෙවන ප්‍රශ්න පත්‍රයට (Structured & Essay) බොහෝවිට පැය 3යි. ඒ පැය 3, දෙවන පත්‍රයේ කොටස් දෙකට ම වුණත්, සාමාන්‍යයෙන් පැය 1ක් Structured එකටයි, ඉතිරිය Essay එකටයි ගන්න එක තමයි බොහෝ දෙනා අනුමත කරන්නෙ.

    එක් MCQ ප්‍රශ්නයකට (ගණන් හදා බැලුවොත්) විනාඩි 2-3ත් අතර කාලයක් ගතවෙනව කියා කියන්න පුළුවන්. එහෙත් සැබැවින්ම එසේ කියන එක නුවණටහුරු නෑ. MCQ ප්‍රශ්න වල විවිධත්වයක් තිබෙනව. එක් එක් ගැටලුවට ප්‍රායෝගික ව වෙනස් වෙනස් කාලයන් ගතවෙන්නෙ. එහෙත්, "යම් ප්‍රශ්නයක් විනාඩි 3කට අඩුවෙන් කරන්නට හැකිවුණා" කියන මානසික ජයග්‍රහණය සුලුපටු නැහැ. MCQ ලියද්දි කාලය කළමනාකරණය ගැන මම පසුවට කියන්නම්.

    Structured & Essay ලියන විට සමහර අය පිළිතුරු ලිවීම ආරම්භ කරන්න Essay කොටස යොදාගන්නව. මා එය එතරම් අනුමත කරන්නෙ නැහැ. (පහත දැක්වෙන්නෙ මා භාවිතා කළ ක්‍රමයයි).

    තමන්ට ලැබෙන පැය 3ක කාලයෙන් පළමු පැය Structured ප්‍රශ්න 4ට යොදාගැනීම හොඳයි. එක් ප්‍රශ්නයකට විනාඩි 15ක පමණ කාල රාමුවක් ලැබෙනව.

    • එක් එක් ප්‍රශ්නය විනාඩි 15ට පෙර කරන්න උත්සාහ කරන්න.
    • එක් ප්‍රශ්නයකට විනාඩි 15කට වඩා ගතවෙයි කියා පෙනෙනව නම් / ගතවුණා නම්, අනෙක් ප්‍රශ්නයට මාරුවෙන්න.

    මෙහිදී වැදගත් වෙන්නේ එක් ප්‍රශ්නයකට සම්පූර්ණයෙන්ම පිළිතුරු සැපයීම ම නොවෙයි, හැකිතරම් ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමයි. හැකිතරම් ඉක්මනට නිවැරදි පිළිතුරු සැපයියයුතුයි.

    • අවසානයේදී පැය 1න් කාලය ඉතිරිවී තිබේ නම්, තමාට මගහැරුණු ප්‍රශ්න වලට හිත යොමු කළයුතුයි. නැත්නම් Essay කොටසට යා හැකියි.

    Structured සඳහා පැයක් ගෙවී යන මොහොතේදී (සියල්ලට පිළිතුරු සැපයුවත්, නැතත්) Essay කොටසට මාරුවීම වඩාත් නුවණටහැරුයි. (නිවැරදි ආකාරයෙන් මෙය කළොත් Essay කොටසට යාමේදී Structured කොටස ගැන අදහස් සිතෙන් ඉවත් කරගන්න පුළුවන්).

    බොහෝවිට Essay ප්‍රශ්න 4ක් තෝරාගන්න ලැබෙන අතර, එක් ප්‍රශ්නයකට විනාඩි 30යි. මේ සඳහා පිළිතුරු ලිවීමට පොතක් ලැබෙනව. සෑම නව ප්‍රශ්නයක් ම නව පිටුවකින් ආරම්භ කර ප්‍රශ්න අංකය පිටුවේ අදාල ස්ථානයේ ලිවීම කළයුතුයි. අමතර කොළ ලැබුණහොත් ඒවායේත් එසේම කළයුතුයි. පෙර කී පරිදි විභාග අංකය හා පිටු අංකය සටහන් කිරීම අමතක කරන්න එපා. ඔබේ අත් අකුරු ගැන සැලකිලිමත් වන්න. පිළිතුරු පත්‍ර පරීක්‍ෂකයන් හට ඔබේ පිළිතුරු පහසුවෙන් කියවිය හැකිවියයුතුයි. එමෙන්ම ඔබගේ වේගය වැඩිදියුණු කරගන්න අවශ්‍යයි. කාලය කළමනාකරණය කරගන්නට ඔබේ වේගය විශාල වශයෙන් බලපානව.

    Essay සඳහා පිළිතුරු සැපයීම අවසානයේදී, කාලය ඉතිරි වී තිබේ නම්, එම කාලය: මගහැරුණු Essay ප්‍රශ්න කොටස්, අසම්පූර්ණතා, රූප සටහන් සහ ඉතිරි වූ Structured ප්‍රශ්න ආදිය ගැන අවධානය යොමුකිරීමට යොදාගන්නට හැකියි. රූප සටහන් ඇඳීමේදී මා භාවිතා කළ ක්‍රමය නම්: ප්‍රශ්නයට පිළීතුර ලිවීම අවසානයේදී රූප සටහන සඳහා වෙනම පිටුවක් යොදාගැනීමයි. රූප සටහන හොඳින් නම් කර හඳුන්වාදිය යුතු අතර, පැහැදිළි ව පෙනෙන සේ පැන්සලෙන් හෝ පෑනකින් ඇඳිය යුතුයි. (මා කළේ පළමුව පැන්සලෙන් ඇඳ එයට උඩින් පෑනෙන් ඇඳීමයි. එයින් අත්වැරදීම් වීම අවම වෙනව. විශ්වාසය තිබේ නම් කෙළින් ම පෑනෙන් අඳින්න. වැදගත් වන්නේ සටහන පැහැදිළිව පෙනීමයි. කාලය ගැන වඩාත් සැලකිලිමත් වියයුතුයි). අනවශ්‍ය ලෙස රූප සටහන් ඇඳීම සුදුසු නැහැ. ලකුණු ලබා දීමේදී සලකා බලන්නේ අපේක්‍ෂා කළ රූප සටහනයි. කාලය ඉතිරි නම් අමතර ප්‍රශ්නයකට යාමේ වරදක් නැහැ. එහෙත් මාගේ අවවාදය නම්, Essay පිළිතුරු ලිවීම ආරම්භ කිරීමේදී තමාට උපරිමයෙන් සාර්ථක ව පිළිතුරු ලිවීමට හැකි ප්‍රශ්න තොරාගන්නා ලෙසයි. මෙයින් අනවශ්‍ය ලෙස ප්‍රශ්න අතර කාලය බෙදී යාම වලකිනවා.

    ඔබ ළඟ අත් ඔරලෝසු තියෙනව. නැත්නම් මේසය උඩ තියෙන පොඩි ඔරලෝසුවක් වුණත් ප්‍රශ්නයක් නැහැ. (මම භාවිතා කළේ Digital Watch එකක Stopwatch එක. Alarm clocks නම් පාවිච්චිය හොඳ නෑ). Digital Stopwatch එකක් තමයි වැඩේට හොඳට ගැලපෙන්නෙ. ඒක තමන්ගෙ මේසය උඩ හොඳින් පේන තැනක තියාගන්න. විභාග ශාලාවෙ ප්‍රශ්න පත්‍රය බෙදන්න පටන්ගන්නකොට Stopwatch එක Start කරන්න. නැත්නම් වෙලාව බලාගන්න. (තමන්ට පිළිතුරු ලියන්න දෙන කාලය පටන්ගන්නේ ශාලාවෙ පළමුවෙනියට ප්‍රශ්න පත්‍රය බෙදනකොටයි. තමන් ළඟට පත්‍රය එනකොට නොවෙයි). පිළිතුරු ලියනවිට සැරෙන් සැරේ තමන් ගතකළ කාලය කොපමණද කියල බලන්න. ඒ අනුව තමන් කළයුතු-නොයුතු දේ ගැන සිතාගන්න පුළුවන්.

    MCQ යනු ඉතාමත් වැදගත් කොටසක්. අපගේ මුළු ලකුණු වලින් 50%ක දායකත්වය එයින් ලැබෙනව. එම නිසා MCQ සඳහා ඉතා හොඳින් මුහුණ දියයුතු වනවා. මා මුහුණ දුන් විෂයන් වන්නේ; Chemistry, Physics සහ Biology. එම සියලු විෂයන් සඳහා A සාමාර්ථයන් ගැනීමට හැකි වුනු බව මා කියන්නේ ඉතා සතුටින්. ඒ සඳහා වඩාත් ම ඉවහල් වුණේ MCQ පත්‍රයේ සැපයූ පිළිතුරුයි.

    MCQ සඳහා පැන්සල හා පෑන භාවිතා කිරීම යෝග්‍යයි. කොටු කොළයේ අවසානයේදී ලකුණු කළ යුත්තේ පෑනෙනුයි. එහෙත් පහසුව සඳහා මුලින් ම පැන්සලත්, පසුව පෑනත් පහත ක්‍රමය අනුව භාවිතා කරන්න හැකියි.

    • ප්‍රශ්න පත්‍රය එක් පැත්තකටත්, කොටු කොළය අනෙක් පැත්තටත් ගන්න.
    • ප්‍රශ්නය කියවා පිළිතුර පැන්සලකින් ප්‍රශ්න පත්‍රය මත ම සටහන් කරන්න. එවිට ම කොටු කොළයේද පැන්සලෙන් අදාල ප්‍රශ්න අංකයට පිළිතුර සටහන් කරන්න. (මුලින් ම ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සටහන් කර අවසානයේදී කොටු කොළය මත ලිවීම ඉතාමත් නොසුදුසුයි. සුලු අතපසුවීමකින් ඔබට හිමිවියයුතුව තිබූ ලකුණු රාශියක් අහිමි වීමට පුළුවන්).
    • අපහසු ප්‍රශ්න මගහරින්න (කොටුකොළයේ හිස්තැන් තබා).
    • පිළිතුරු සැපයූ, එහෙත් පිළිතුර පිළිබඳ විශ්වාසයක් නොමැති ප්‍රශ්න අංක ඉදිරියේ පැන්සලින් තරුවක් හෝ ඊතළයක් වැනි ලකුණක් යොදන්න (ප්‍රශ්න පත්‍රයේ සහ කොටු කොළය යන දෙකෙහි ම).
    • පිළිතුරු සපයා අවසන් වූ පළමු අවස්ථාවෙන් පසු, පිළිතුරු නො සැපයූ (හිස්තැන්) ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න.
    • ඉන්පසු තරු හෝ ඊතළ ලකුණු කළ ප්‍රශ්න ගැන සිතා බලන්න.
    • අවසානයේදී ඔබ නිවැරදි යැයි සිතන ප්‍රශ්න නැවත කියවා බලන්න. පිළිතුරු සෙවීමට අපහසු අවස්ථාවේදී හැකි තරම් තාර්කික පිළිතුර තෝරාගන්න.

    (අහඹු ලෙස පිළිතුරු සටහන් කිරීමේදී 80% පමණ වැරදීමේ හැකියාවක් ඇත. එය ඔබගේ අවසාන උත්සාහය වශයෙන් යොදාගන්න).

    • මේ ආකාරයෙන් කොටු කොළයේ පිළිතුරු පුරවන්න.
    • කොටු කොළය හා ප්‍රශ්න පත්‍රයේ සටහන් කළ පිළිතුරු සැසඳේ දැයි නැවතත් පරික්‍ෂා කරන්න.
    • කිසිවිටෙකත් කාලය නාස්ති කරන්නට එපා. විශ්වාසදායී පිළිතුරු සියල්ල කටුකොළයේ පෑනෙන් නැවත සටහන් කරන්න.
    • කාලය ඉතිරි නම් නැවත නැවතත් පිළිතුරු පරික්‍ෂා කරන්න.
    • වෙනස් කළයුතු පිළිතුරු ඇත්නම් වෙනස් කරන්න.
    • විශ්වාසය අනුව පෑනෙන් සලකුණු කරන්න.
    • අවසානයේදී සියලුම පිළිතුරු පෑනෙන් නැවත සටහන් කරන්න.

    MCQ පත්‍රය ඇමිණීමක් කිරීමට අනවශ්‍ය නිසා ඔබට පිළිතුරු පත්‍ර එකතු කරනා අවසානය දක්වා කාලය යොදාගැනීමට පුළුවන්. පිළිතුරු පත්‍රය පිරිසිදුව තිබෙන්නට අවශ්‍ය නිසා ඔබ යෙදූ පැන්සල් සලකුණු හැකි නම් මකා දමන්න.

     

    Chemistry MCQ සඳහා පහත ක්‍රමය මා භාවිතා කළා.

    • සාමාන්‍යයෙන් එහි පළමු ප්‍රශ්න 10 තරමක් පහසු ඒවා යි. හැකි තරම් ඉක්මනින් ඒවා සඳහා පිළිතුරු සපයන්න.
    • අපහසු ප්‍රශ්න මඟහරින්න. (පසුවට)
    • ඉන්පසු අවසාන ප්‍රශ්න 10 කරන්න.
    • ඉන්පසු 31-40 ප්‍රශ්න තෝරාගන්න.

    මෙම ප්‍රශ්න කොටස් තුන සඳහා කාලය ගතවන්නේ ඉතාමත් අඩුවෙනි. අපහසු ප්‍රශ්න පසුවට තබාගන්න.

    • අවසාන වශයෙන් කළයුත්තේ රසායනික ගණනයකිරීම් ප්‍රශ්න යි.

    ඒවා සඳහා සැලකියයුතු තරම් වේලාවක් ගතවන නිසා මුලින්ම අනෙකුත් ප්‍රශ්න වලට පිළිතුරු දීම යෝග්‍යයි. (රසායනික ගණනයකිරීමේ ගැටලු සාමාන්‍යයෙන් 5ක් හෝ ඊට ආසන්න ගණනක් තිබෙනවා. සෑම නිවැරදි පිළිතුරකටම එක් ලකුණකුයි හිමිවන්නේ. එක ගැටලුවක බොහෝ වේලාවක් සිරවුවහොත් අනෙක් ගැටලු සහා කාලය මදිවීමට හැකියි. වැදගත් වන්නේ වැඩිම ප්‍රශ්න ගණනකට නිවැරදිව පිළිතුරු සැපයීම යි). පසුවට තැබූ ප්‍රශ්නවලට හැකිතරම් හොඳින් පිළිතුරු සපයන්න.

     

    Physics MCQ සඳහා පිළිතුරු සැපයීමට විශේෂ වූ ක්‍රමයක් මා භාවිතා කළේ නැහැ.

    එය බොහෝ දුරට ඔබගේ විෂය ප්‍රවීණතාව මත බලපානවා. ඒ වගේම කෙටි ක්‍රම. සමහර ගැටලු සඳහා පිළිතුරු දීමේදී ඉලක්කම් යොදා දීර්ඝ ගණනය කිරීම් කිරීමේ අවශ්‍යතාවක් නැති අවස්ථා තිබෙනවා. බොහෝ ප්‍රශ්න වලට දී ඇති පිළිතුරු 5න්, පිළිතුරු 3ක් පමණ සරළ තර්ක කිරීමෙන් ඉවත් කළහැකියි.

    • ප්‍රශ්නයකට පිළිතුරු සපයද්දි සෑම වෙලාවකදීම හැකිතරම් වැරදි පිළිතුරු ඉවත් කරගැනීමට උත්සාහ කරන්න. (ඉතිරි වූයේ පිළිතුරු දෙකක් පමණක් නම් ඔබගේ සාර්ථක වීමේ ප්‍රවණතාව 20% සිට 50% දක්වා වැඩිකරගැනීමට පුළුවන්. තවදුරටත් තර්ක හෝ ගණනය කිරීම් මත සාර්ථකත්වය 100% දක්වා නැංවීමට අපහසු නැහැ).

    එහෙත් භෞතික විද්‍යාවේදී "කාලය" සැමවිටම ඉතාමත් තීරණාත්මක සාධකයක්.

     

    Biology MCQ ඉතාමත් පහසුයි.

    එහිදී අසන්නේ ඔබ ඉගෙනගත් කරුණුයි. තර්ක කිරීම් ද නැත්තේම නෑ. ගණනය කිරීම් කිහිපයක් තිබෙන්නට පුළුවන්. වැදගත් කරුණු හොඳින් මතක තිබීම අත්‍යවශ්‍ය නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ප්‍රශ්න පත්‍රයේ අපහසු කොටසක් තිබේ නම්, ඒ බොහෝ විටදී ප්‍රශ්න අංක 41 සිට 50 දක්වා අවසන් 10යි.

    • දී ඇති උපදෙස් හොඳින් කියවා බලන්න. කරුණු කිහිපයක සත්‍ය-අසත්‍යතාව පිළිබඳ අසන නිසා හොඳින් කරුණු දැනසිටීම අත්‍යවශ්‍යයි. මෙම ප්‍රශ්න 10 අවසානයට ඉතිරිකරගැනීමෙන් පිළිතුරු සැපයීම සාර්ථකව කරගන්නට පුළුවන්.

    අනෙකුත් විෂයන් මාගේ විෂයපථයට හසු නොවන නිසා ඒ ගැන යමක් පැවසීම අපහසුයි. එහෙත් English සහ Common General Test පත්‍ර වලට පිළිතුරු ලිවීමට සියල්ලන්ට ම සිදුවනවා. ඔබගේ ඉංග්‍රිසි දැනුම පිළිබඳව වගකිවයුත්තේ ඔබමයි. English විෂය අනවශ්‍ය ලෙස සලකන්නට එපා. සාමාන්‍ය පොදු පරීක්‍ෂණයත් අපහසු එකක් නොවේ. පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය පිළිබඳ අවධානයෙන් සිටීම මේ සඳහා උපකාරී වෙනවා. එම පත්‍රය සඳහා අවම 30%ක ලකුණු ප්‍රමාණයක් තිබිය යුතුයි.

    අවසාන වශයෙන් ඉතා වැදගත් යමක් කිවයුතුයි. විභාගයේදී කිසියම්හෝ වංචනික ක්‍රියාවක යෙදීමට සිතන්නවත් එපා. ඔබ ඔබගේ දැනුම හා හැකියාව මත පමණක් රඳා පවතින්න. අසළ සිටින්නේ යහළුවෙකු වුවද, විභාගය අතරතුර ඔවුන් මත යැපීම හෝ ඔවුනට උදව් කිරීමට උත්සාහ කරන්නට එපා. එමගින් ඔවුනට මෙන්ම ඔබටද සිදුවන්නේ හානියක්. පරීක්‍ෂක වරුන්ට හසුවුවහොත් පසුවිපාක ඉතාමත් බරපතල වියහැකියි. එමනිසා විභාගය අතරතුර ඔබ ඔබගේ විභාග කටයුතු ගැන පමණක් අවධානය යොමු කරන්න.

    විභාගයට පෙර ඔබට පොත් පරිශීලනය කළහැකියි. එහෙත් විභාග කටයුතු ආරම්භවීමට පෙර ඒවා ඔබගේ බෑගයට දමා ශාලාවෙන් පිටත තැබිය යුතුයි. ජංගම දුරකථන ආදිය ක්‍රියා විරහිත කර තබාගන්න. ඒවාද ශාලාවෙන් පිටත තබාගතහොත් වඩාත් පහසු ය. ලඝුගණක පොත් ආදිය ඔබට ලබාදෙන නිසා නිවසේ සිට රැගෙනඒමේ අවශ්‍යතාවක් නැහැ. ඔබ ආසන්නයෙන් වතුර බෝතලයක් තබාගැනීමට අවසර දී තිබෙනවා. ඔබගේ ජාතික හැඳුනුම්පත්‍රය (හෝ වෙනත් පිළිගත් හැඳුන්ම්පතක්) හා Admission එක අමතක කරන්න එපා.



    ඉහත සඳහන් කළේ මා 2014 උ.පෙ. විභාගය සඳහා පිළිතුරු ලිවීමට අනුගමනය කළ පියවරයි. සමහර විට ඒවා ඔබට නොගැලපීමට පුළුවන්. වඩාත් වැදගත් වන්නේ ඔබවිසින් ඔබට ගැලපෙන ක්‍රමයක් අනුගමනය කිරීමයි. අ.පො.ස. (උ.පෙ.) විභාගය සිතන තරම් අපහසු නැහැ. හැකි තරම් උත්සාහ කරන්න. ඔබට ජය ලැබේවි! 

    :)>-

  • edited November -1
    ගොඩා....ක් ස්තූතියි @Charunda අයියේ.. දීර්ඝ විස්තරයට... විභාග ශාලාවට ගිහිල්ලා ආවා වගේ මේක කියෙව්වහම. :)

    දැන් ඉතින් ලියන්න දේවල් තමා කේස් එක... :D පිස්සු හැදෙනවා..
  • edited November -1

    @Messa Feedback එකට ස්තුතියි. මෙවර විභාගයට මුහුණදෙන ඔබට තවත් මාස 3කට ආසන්න කාලයක් ඉතිරි වී තිබෙනවා. එය ඔබට සූදානම් වීමට ප්‍රමාණවත්.



    ඉහත විස්තරය ටිකක් දිගවුණාට සමාවෙන්න ඕනෙ. ලියන්න හිතෙන දේවල් සියල්ලම වගේ ලිව්වා. මෙය කියවන අනෙක් පරිශීලකයන්ටත් තමන්ගේ අදහස් බෙදාහදාගන්න කියලා ආරාධනා කරනව. Discussion එක ඉදිරියට ගෙනයන්න.

    :)

  • edited November -1
    @Charunda ඇත්තටම මේ අදහස් ටික නම් සෑහෙන්ඩ වටිනව..ගොඩක් ස්තූතියි...
    මං හිතනව කට්ටියට නිවැරදිව පාඩම් කරන හැටිත් කියල දුන්නොත් ගොඩක් වටිනව කියල... :-)
  • edited November -1

    මං හිතනව කට්ටියට නිවැරදිව පාඩම් කරන හැටිත් කියල දුන්නොත් ගොඩක් වටිනව කියල... 

    hmm :) 

Sign In or Register to comment.